පෝස්ටර් සංස්කෘතියට විරුද්ධ වෙමු !

මැයි හයවෙනිදා තියෙන්නේ පළාත් පාලන මැතිවරණය.  ඒ කියන්නෙ ගමේ අපේක්ෂකයෝ ගමේ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, මහ නගර සභාවට තෝරාගන්න චන්දේ. ගමට වැඩ කරන්න කියලා ඡන්දේ ඉල්ලන අපේක්ෂක අපේක්ෂිකාවන් ගම වනසන කාලයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ. මෙහෙම ගම වනසන, පරිසරය විනාශ කරන පුද්ගලයන් නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, මහ නගර සභාවලට ඇවිත් ගම දියුණු කරයි පිරිසුදු කරයි කියල හිතන්න පුළුවන්ද? හැබැයි හැමදාමත් අපේ මිනිස්සු එහෙම හිතුවා. හැමදාමත් මිනිස්සු රැවටෙන්න ඕනද?  දැන්වත් රැවටුනා ඇති නේද?

ඇත්තටම කියන්න කණගාටුයි. මේ අපේක්ෂකයන් හිතාගෙන ඉන්නේ මුහුණත් තහඩුව  දාලා පෝස්ටර් ගැහුවම මේව දකින ජනතාව ඔවුන්ට ඡන්දය දෙයි කියලා. මේක ඉතාම මෝඩ අමන සිතුවිල්ලක්.  පසුගිය මැතිවරණයේදී  ලාංකීය ජනතාව හොඳ   බුද්ධිමත් තීරණයක් අරගෙන තිබුණ බවක් පැහැදිලියි. මෙයින් කිසි ලෙසකින් අදහස් කරන්නේ නැහැ එක්තරා පක්ෂයකට න්දය ප්‍රකාශ කිරීම තමයි නිවැරදිම තීරණය කියලා. 

කොහොම නමුත් මෙච්චරකල් මේ රටට මොකක්ද උනේ, පහුගිය රජයන්, පාලකයන් රටට මොකක්ද කරේ කියන එක ජනතාව හරිහැටි තේරුම් ගත්තා. දේශපාලඥයන් කරේ ඔවුන් දියුණු වූවා මිසක් රට දියුණු කිරීමට උත්සාහයක් ගැනීම නොවන බවත්, තනිකරම ජනතාව රැවටීමේ ක්‍රියාවක් කරමින්, ඔවුන්ගේ සැප සම්පත් ලාභ සත්කාර දියුණු කරගත් බව, සිදුකළ බව ජනතාව වටහා ගත්තා. එසේ බලන කල, හොඳටම පැහැදිලියි මේ රටේ බුද්ධිමත්, සවිඥාණාත්මක බහුතර ජනතාවක් පාරෙ අලවන පෝස්ටරේට තම ඡන්ද අයිතියක් පාවා නොදෙන බව.


පෝස්ටර් ගැසීම මැතිවරණ නීතිය යටතේ තහනම් ක්‍රියාවක්. ඒ ගැන මාර් තු මස දාහත් වනදා නිකුත් කළ ගැසට් නිවේදනයේද සඳහන් වෙනවා. එසේ තිබියදී අපේක්ෂකයන් මෙවැනි අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙනව නම්, ඒවාට අපි විරුද්ධ විය යුතුයි. මේ දවස්වල නිවෙසට පැමිණෙන අපේක්ෂකයන් හට නොබියව පෝස්ටර් ගසා ගම අපවිත්‍ර කරන කෙනෙකුට ඡන්දය නොදෙන බවට ප්‍රකාශ කිරීමට අපිට හැකියාවක් තියෙනවා. ඔවුන්ගෙන් ඔබට කෙලින්ම ප්‍රශ්න කරන්න පුළුවන් "ඔබතුමාලා තාප්ප පුරා, ලයිට්  කණුපුරා, ගම පුරා, පෝස්ටර් ගහලා විනාශ කරලා ගම හදන්න ඡන්දේ ඉල්ලන්න ලැජ්ජ නැද්ද කියල?"

මගේ නිවස පිහිටලා තියෙන්නේ පෞද්ගලික පාරක. ඒ පාර පුරාත්, මේ දවස්වල පෝස්ටර් ගහලාවිදුලි කණු, ටෙලිෆෝන් කණු, විනාශ කරලා තියෙන්නෙ. ඊට අමතරව පෞද්ගලික තාප්ප විනාශ කරලා. අපි මොවුන්ට  අපේ වටිනා ඡන්දය ලබා දිය යුතුද?



   

(ඡන්ද අපේක්ෂකයින් විනාස කරපු අපේ පාර)

පසුගිය ඉරිදා උදේ මම මගේ දරුවන්ව  දහම් පාසල් ගෙනියන විට මා දැක්කා ගැටව් දෙන්නේ පෝස්ටර් අලවා අලවා අපේ පාරේ ඇවිදිනවා. මම ආපසු එන විට මගේ නිවස අසල ටෙලිෆෝන් කණු සහ විදුලි කණුවල පෝස්ටර් අලවා තිබුණා. මම එවෙලේම මගේ නිවස වට තියෙන කණුවල පෝස්ටර් ටික ගලවා දැම්මා. ගමේ සියලුම දෙනා මෙලෙස  හැසිරෙනවා නම් අපිට මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන්.  මොකද මට මුළු ගමකම පෝස්ටර් ගලවන්න හැකියාවක් නැහැ.

  
 ( මේ තියෙන්නේ  මගේ නිවස අසල ඇති කිසිදු පෝස්ටරයක් නැති විදුලි කණු )



CLEAN SRILANKA කියලා හඬ තැලුවට වැඩක් වෙන්නෙ නැහැ. අපි ඒකට නොමසුරුව දායක වෙන්න ඕන. පිරිසිදු ශ්‍රී ලංකාවක් හදන්නම් සියලු ශ්‍රී ලාංකිකයන් එක්සිත්ව, අධිෂ්ඨානයෙන්   වචනයෙන් සහ ක්‍රියාවෙන් කටයුතු කළ යුතුයි.

අපි සියලු දෙනා පිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවෙමු !


( Clean Sri Lanka   ගැන වෙනම ලිපියක් ලියන්න අදහස් කරනවා )



Comments

Popular posts from this blog

අලුතෙන් දෙයක් කරලා බලන්න හිතුණා.